දුවකගේ මතක -19
රවුම් ඇස් දෙකකට සහ දිගු ඇස් පිහාටු යුගලකට කතා කරන්න බොහෝ දේවල් තිබුනා .ඒවා ඒ තරමට ඒ වෙනුවෙන් බලාගෙන උන්නා .ඒත් ඒවා තනියම නෙමෙයි කතා කරන්න සූදානමින් උන්නෙ.ගේ ඉස්සරහ පඩියෙ වාඩි වෙලා ඉන්න කොට තවත් ඇස් දෙකක් මට කතා කරන්න පටන් ගත්තා .මඟ බලමින් උන්න රවුම් ඇස් දීප්තිය සමඟ කතා කරන්න ලෑස්ති උනා .මේක හරි පුදුමයක්.අහම්බෙන් හමු උන ඇස් දෙකක් එක්ක ජීවිතය කියවන්න පටන් ගත්තා .අපි අපේ ලෝකෙට එබුනා.අහම්බෙන් හමු උනාට ඒ ඇස් වල රැඳී ඉන්නෙ මම බව මම දැක්කා .ඇත්තටම පුදුමයි .ඉතාම කුඩා මේ ජීවියා එක්ක මට ගොඩාක් දේවල් තිබුනා බෙදා ගන්න .ඌ හරිම හුරතල් ,හුරුබුහුටියි .ඉතිං මගේ හිත බැඳෙන්නෙ නැද්ද .කළු පාටින් පාට ගන්වලා තිබුනට පාද හතරම සුදු පාට මේස් ඇඳන් වගේ උන්නෙ.ඌ ගොඩාක් කිළුටු වෙලා උන්නේ.මම ගෙදර හැමෝටම හොරෙන් ගෙට ගෙනාවා .හොදටම නාවලා උණුසුම් කිරි කෝප්පයක රස බලන්න දුන්නා .ඒ සේරම බීලා.මුළු ඇඟම නාවගන්න පටන් ගත්තා .යාන්තමට පුරු පුරුවත් මට ඇහුනා .ඒත් මට මෙයාට මේ සුව විඳින්න දෙන්න බෑ .ගෙදර අය මේ දේවල් වලට මට ඉඩදෙන්නෙ නෑ .ඒ කාටවත් තේරෙන්නෑ මේ කතා බහ,ලෙන්ගතු කම් ගැන .එයාලා කියන්නේ සත්තුන්ට යි මිනිස්සුන්ට යි එකට ගෙවල් ඇතුළෙ ඉන්න බෑ කියලා .ඒත් මේවා මොකවත් මෙයාට තේරෙන්නෑ දෙය්යනේ .ඉතිං හෝදනවා හෝදනවා ඉවරයක් නෑ .හරියට ලොකු සාදයකට යන්න සූදානම වගේ .ඒ හේදිල්ල මගෙ අම්මේ පිළිවෙළ .අත් කකුල් මූණ මේවා හැමතැනම පිලිවෙලට .ආසාවෙ බෑ .හුරුබුහුටිය එක්ක මේ සේරම දේවල් එකතු උනාම ආදරය විතරම විතරක් මම ලඟ ඉතුරු උනා ඌට දෙන්න .දැන් ඇති දෙය්යනේ මේ හේදිල්ල මම කිව්වා .බංඩිය පිරිලා බොහොම සුවෙන් ඌ උන්නා .මම දැන් උඹව ගිලිනවා .බලාන ඉදලා මම කිව්වා .එහෙම කියන්නේ මම ආදරේ ඉවසගන්න බැරි උනාම .ඒත් මේ කිසිම දෙයක හැලහොල්මනක් නැතුව හුරු පුරුදු විදියට ඌ උගේ ලෝකෙම ජීවත් උනා .මම ඌවත් අරගෙන ආයෙම ආලින්දය ට ආවේ අපි ට බෙදා ගන්න ගොඩාක් දේවල් තිබුන නිසා .ලොකු ඈනුමක් ඇරියා .ඒකේ ලොකු .බීපු කිරිටිකේ පාටත් පෙනුනා ලා වට මගෙ හිතේ.මම බිම දිගා උනා .මගේ ඇග උඩින් ඌ තියාගෙන මම ලොකු කතාන්දරයක් කියන්න මුල පිරුවා.මොන කතාන්දර ද .ඔන්න එයගේ තාල රිද්මයට මට සවන් දෙන්න උනා .”පුරු පුරු පුරු” ඉතිං නිමාවක් නෑ .ඒ රිද්මයට .හරියට සංසාරේ වගේ .අපේ ආච්චි ට කැමති දෙයක් කරගන්න බැරි උනාම නිතරම කටේ තියෙන්නේ සංසාර සාගරේ කියලා .ඉතිං මේකත් එහෙම තමයි ඉවරයක් නෑ .මේන් මට ගුලි වෙලා හරි බරි ගැහිලා දොය්යන්න ලෑස්තිය.ඉතිං මොන කතා බහද.මගේ හිතට වේදනාවක් දැනුනා .එහෙම තමයි අපි කැමති හැමදේම අපිට ලැබෙන්නෙ නෑ .මට හිතුණා .ඌ ගොඩාක් සතුටින් බව ත් සැපෙන් බවත් මට හොදටම තේරුණා .ඉතිං ඒකම මගේ සතුට කරගන්න මම හිතුවා .එහෙම තමයි අපි ඉන්න ඕන මම මට කියා ගත්තා .එතකොට මම සතුටු දෙයක් මට ජීවිතේ ට ම ලැබෙන්නෙ නැද්ද ආසාවෙන් විඳින්න .මම හිතුවෙ .දිග සුසුමක් එක්ක .ඒ සුසුම ගොඩාක් දිගයි,ඒ වගේම උණුසුම් ,ඒක ගොඩාක් බරයි .එහෙම වෙනවා නේ දරාගන්න බැරි දේවල් ගොඩාක් හිතේ තිබ්ලා පිට උනාම .මට බොහෝ දේවල් තේරෙන්න පටන් ගත්තා .ඌ හොදටම නිදි.යාන්තම් ගෙරවිලක් මට ඇහුනා .වැඩි වෙලාවක් මට එහෙම ඉන්න උනේ නෑ .”හයියෝ දරුවෝ මේ මොකෙක් ද ගෙනැවිත් තියෙන්නේ “ඒ අම්මා ගෙ හඬ .
“අනේ ඌ නිදි අම්මේ ඇහැරවන්න එපා “
“මොකද දරුවෝ මේ බිම දිගා වෙලා .මොනතරම් කුණු කන්දරාව ක ද ඔය ඉන්නෙ .”—————————— ඉතුරු ටික මට මතක නෑ .එතැනින් එහාට ගොඩාක් දේවල් තිබුනා .මම ඒවා යේ මතක අමතක කරලා දැම්මා .ඒ හිත රිදෙන වාර ගණන වැඩි වෙන නිසා .හිතේ කඳුළු කදු ගණනින් ගොඩ ගසා ගන්නේ නැතුව හිතේ සතුට කදු ගණනින් ගොඩ ගසා ගන්න විදියක් ගැන මම හැමදාමත් හිතුවෙ .ඒත් මට මේ දක්වා කඳුළු කදු හමුවීම් වගේම ගොඩගැසීම් වල නිමාවක් නම් නෑ .හරියට සංසාරේ වගේ .අන්තිමට ඌ ලොකු ඈනුමකින් ද පසුව යි මම දිහා බැලුවේ .ඒකත් අමුතු සතෙක් දිහා බලනවා වගේ .ඔන්න ඔහොම තමයි නොතේරෙන කොට හැඟීම් .කුස්සියට ගිහිං බත් ටිකකුත් කන්න දීලම මම ඌව ආදරෙන් සිම්බා.
“අනේ රත්තරං මේක මනුස්ස බවනක් .ඉතිං මනුස්ස බවනෙ ඉන්නෙ මනුස්සයෝ විතරයි .ඉතිං මම උඹව ආයේම පාරෙන් තියන්නම්.හැබැයි මම උඹට අඩු නැතුව ආදරය දෙන්නම් .කෑම දෙන්නම් බංඩිය පිරෙන්න .උඹ ගැන හොයන්නම්.තාත්තා ගෙදර ආවාම උඹව ගෙදර ට ගන්න අහන්නම් .ගොඩාක් පද පේලි කියලා මම ඌව පාරෙන් තිව්වේ හිතේ කඳුළු බර දරාගෙන .මගේ ආදර කතා ඔහොම තමයි මට නැතිවෙන්නෙ.ඒවා තේරුමයි නොතේරුමයි අතර එහාට මෙහාට දුක් විඳිනවා .නැත්නම් සුසුම්ලනවා.
පරි කතාව -ඉන් වසර ගණනාවකට පසු අපේ ගෙදර පුසන්ම 14ක් ද එක බලුවෙකු ගෙන් සමන්විත වාස බවනක අසිරිය අරක් ගත්තෙ අම්මා ගේ ආදරය මැදය.
අදට මෙච්චරයි ආයෙම හෙටට
සම්මානී …….