විලියම් ෂේක්ස්පියර්……
මිනිහෙකුට යම්කිසි කර්තව්‍යයක් ඇරඹිය හැකිය .එහෙත් ඉන් උද්ගත වන ඇතැම් ඵලයන් ඔහුගේ පාලනයෙන් ගිලිහීමට හැකිය .එය ජීවිතයේ ඇතැම් සංසිද්ධි බවට වුවද පත් විය හැකිය .ඒ පුද්ගලයා නාට්‍යකරුවෙක් වූවා නම්.නාට්‍යකරුවෙක් මෙබඳු සිඳුවීමක් තෝරාගන්නෙ ,ගලපා ගන්නේ තම නිර්මාණය හා එහි චරිතයන්හි විශේශාංගයන් ඉස්මතු වන ලෙසට ය.සභිප්‍රායික සිද්ධීන් ලෙස ප්‍රෙක්ෂකයාට අවබෝධ කරවීමට ඔහුට හැකි වුවහොත් නාට්‍යයේ සජීවී භාවය පවතින්නේ ය.ඔහුගේ නිර්මාණය තුළ නිරන්තරයෙන් අපාතික සිද්ධීන් බහුල නම් ඉන් නිර්මාණය දුර්වල වන බව හේ දනියි.එය නාට්‍ය සන්දර්භය ට සෘජුව බලපාන බව ඇත්තකි.සභිප්‍රායික සිද්ධී දාමයන්ට වඩා අපාතික සිද්ධීන් බහුල ව ආදේශ ගත කරන නාට්‍යකරුවෙක් අපට හමුවෙයි.ඔහු අන් කවරෙකු වත් නොව “විලියම් ෂේක්ස්පියර් ” වේ.
මේ හිතුවක්කාර කම ඔහු භාවිතයට ගන්නේ ඉතාම අරපරෙස්සමිනි.
“ජෝන් ෂේක්ස්පියර් “නැමැති ධනවත් වෙළෙන්ඳාගේ පුත්‍රයා ලෙස විලියම් ෂේක්ස්පියර් ජන්මය ලද්දේය.දරුවන් අටදෙනෙකු ගෙන් යුතු පවුළක තුන්වෙනි දරුවා වූයේය . මේරි ආර්ඩන් නම් වූ ඔහුගේ මව ඉඩම් හිමියෙකුගේ දියණිය යි.ඔහුගේ පාසල් සමය ගැන මෙන්ම ළමා කාලය ගැන බොහෝ දේ නොමැති වුවද ,
“The merry wives of windsor”
නැමැති නාට්‍යයෙහි ෂේක්ස්පියර් සඳහන් කරන්නේ ඔහුගේ ම පාසල් දිවිය පිළිබඳ සිහිවටන බව යි ඇතැමුන් ගේ අදහස වන්නේ .
සිය ගම අතැර හේ ලන්ඩන් නුවර ගොස් ක්‍රියාකාරී ලෙස නාට්‍ය වලට සම්බන්ධ වී ක්‍රියාකළේය.නාට්‍ය පිළිබඳ මහත් අභිරුචියකින් පෙළුණු තරුණ ෂේක්ස්පියර් ඒ වෙනුවෙන් මහත් දෑ කිරීමට පෙළඹුණු බව ඔහු පිළිබඳ බොහෝ දත්ත විමසා බැලීමේදී පැහැදිලි ය.
එකල සංචාරක නෘත්‍ය කණ්ඩායම් නාට්‍ය දක්වමින් නගරයක් නගරයක් පාසා යාමේ සිරිතක් පැවතුණේ ය.එවැනි කණ්ඩායම් දෙකක් නගරය ට පැමිණිම සිරිතක් වී තිබේ.1568-9 කාලසීමාවේදී එහි පැමිණි කණ්ඩායම් දෙක පිළිගනු ලැබ ඇත්තේ එවකට නගරාධිපති ව විසූ විලියම් ගේ පියා වන ජොන් ෂේක්ස්පියර් විසිනි .මොවුන්ගේ රැඟුම් දැකීම් හේතු කොට ගෙන ළඳරු ෂේක්ස්පියර් තුළ නාට්‍ය පිළිබඳ අභිරුචියක් ඇති වන්න ට ඇත.
ඔහු ලන්ඩනයට ගියද එතෙක් කිසිදු නාට්‍යයක රඟ නොපෑවේය.කිසිදු නාට්‍ය සංගමයකට නොබැඳුණේය.නමුත් නාට්‍ය කණ්ඩායම් සඳහා පිටපත් සකස් කර දුන්නෙ ය.මෙකල ඔහු පද්‍ය පන්තීන් දෙකක් රචනා කොට සදැම්ටන් සාමිවරයා ට පිළිගන්වා තිබේ.මින් ඔහු බොහෝ සේ ජනප්‍රිය වුයේය .තත්කාලීන නිර්මාණකරුවන් අතර ට ඒමට ඔහුට ඒ නිසා හැකිවූයේ ය.
1594 දී චැම්බර්ලේන් සාමිවරයා ගේ නාට්‍ය කණ්ඩායම පිහිටවනු ලැබීය .ෂේක්ස්පියර් නාට්‍ය ජීවිතයෙන් සමු ගන්නා තුරුම එහි සාමාජිකත්වය දැරුවේය .මෙම නාට්‍ය සමාගම 1603 දී ග්ලෝබ් රඟමඬල එහි මූලස්ථානය ලෙස පිහිටුවා ගත්තේය .ඒ සඳහා වන ප්‍රමුඛ කොටස් කරුවන් නැත්නම් නළුවන් නව දෙනා අතර ට ඒමට ෂේක්ස්පියර් ට හැකි වුයේය .පසු කාලීනව ෂේක්ස්පියර් රඟහල වූයේ ද මෙයම වේ.
ෂේක්ස්පියර් නාට්‍ය සමුදාය දළ වශයෙන් කොටස් තුනකට බෙදා දැක්විය හැකිය .
එනම්.
ඛේදාන්ත
සුඛාන්ත
හා ඉතිහාස යනුවෙනි .
ඛේදාන්ත :-
රෝමියෝ හා ජුලියට්(1594)
ජුලියස් සීසර්
හැම්ලට්,prince of denmark (1602)
ඔතෙලෝ, the moor of venice (1604)
කිං ලියර්
මැක්බත්
ඇන්ටනී හා ක්ලියෝපැට්‍රා
කෝරියොලනස්
ටිමන්
ට්‍රොයිලස් හා ක්‍රෙසිඩා
සුඛාන්ත :-
ලවුස් ලේබර්ස් ලොස්ට් – Love ‘s Labour’s Lost
කොමෙඩ් ඔෆ් එරර්ස්- commedy of Errors
Two Gentlemen of verona
Midsummer Night ‘s Dream
ආදී වශයෙන් තවත් බොහොමයක් නාට්‍ය එකතුව තුළ ඇත .
ෂේක්ස්පියර් නිරූපණය කරන විපත් ආකස්මික අන්දමින් අලෞකික බලවේගයකින් සිදු නොවේ.මිනිසුන් ක්‍රියා කරන සමාජයේ ගැටුම් වලින් උද්ගත වන හේතු ප්‍රත්‍යන්ට අදාළ විපත් වැලකි එය .ඔහුගේ ඛේදාන්ත වල දක්නට ලැබෙන තවත් සැලකිය යුතු ලක්ෂණයක් නම් එක්තරා වර්ගයක අපාතික සිදුවීම් වල සහභාගීත්වය ය.මා ඉහත දැක්වූ අහඹුව සිදුවන ආකස්මික සිදුවීම් නොව ලෝක ස්වභාවය අනුව හෝ සමාජ පිළිවෙත අනුව ඉඩක් දිය හැකි සිදුවීම් විශේෂයකි.
එලිසබැතන් යුගය විසින් ෂේක්ස්පියර් සකස් කලේ ද නැතහොත් ෂේක්ස්පියර් විසින් එලිසබැතන් යුගය සකස් කලේ ද යන්න විචාරකයන්ගේ විමසුම් ඇසට භාජනය වූයේය .
එලිසබැතන් යුගය යනු ස්වර්ණ යුගය වීමත්,නළුවෙකු ,නාට්‍ය රචකයෙකු ,හා කවියෙකු වශයෙන් ත්‍රිවිධ කුසලතාවයන් සපිරි මේ මිනිසා එකල බැබළීම ඒ හේතු විමසීම ට හේතුවක් වූයේය .
කලාකරුවා මානුෂික දයාවෙන් සමන්විත වූවෙකි .ඔහුගේ කාර්‍ය් මිනිස් හදවත හඳුනා ගැනීම ට තැත් කිරීමය.අන්‍යයන් ගේ සිත් තුළට පිවිස ඔවුන්ගේ ඉරණම සහ ආකල්ප මතවාද හැදින ගැනීමට උත්සාහ දැරීමට හේ හැමව්ටෙකම උනන්දු වන්නේ ය.ෂේක්ස්පියර් ද එවැන්නෙකි .නාට්‍යගත චරිතයන්ගේ මාර්ගය ඔස්සේ ෂේක්ස්පියර් ගේ මනෝභාවය අවබෝධ කරගැනීමේදී ඔහු තුළ පැවති නාට්‍ය දෘෂ්ටිවලින් තවත් අංගයක් මතුවේ.
තවද ,නිර්මාණය හා අනුකරණය මෙකී නිර්මාණකරුවන් ට අයත් කුසලතාවයන් දෙකකි.මේ කුසලතාවයන් දෙකෙන්ම අනූන ෂේක්ස්පියර් ස්වකීය නාට්‍ය චක්‍රය තුළ සිය ගණනක් චරිත නිර්මාණය කළේය .
හේ ස්වකීය ජීවිතය තුළ ජීවත් වෙමින් වෘත්තීය ජීවිතය තුළ අන්‍යයන් ට ද ජීවිතය දෙමින් ජීවත් වූ හෘදය සංවේදී නිර්මාණ කරුවෙක් වූයේය .
මේ අසහාය නිර්මාණ කරුවා පිළිබඳ අංශු මාත්‍රික ආමන්ත්‍රණයකි.
සම්මානී විජේසිංහ .